ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට බල කරමින් තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය 08 වන දිනටත් අද අඛණ්ඩ ක්‍රියාත්මක බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය විසින් උපවාසය සිදු කරගෙන යන ස්ථානයට පසුගිය 30 වන දින ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා පැමිණ කියා සිටියේ හෙට දිනයේදී ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් සිය උපවාසයට රජයෙන් කිසිදු සාධාරණ ප්‍රතිචාරයක් ලබා නොදීම හේතුවෙන් අද දිනයේදී ද පාසල් සංවර්ධන නිලධාරීන්ගේ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන කිහිපයක් ද කොළඹට පැමිණ එම උපවාසයට සහාය පළකරමින් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ.