ගාල්ල බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ තුනකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය, ගාල්ල බන්ධනාගාරය සහ වෙනත් බන්ධනාගාරයක ප්‍රධාන ජේලර්වයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
රැදවියන් දෙදෙනෙකු එම බන්ධනාගාරයෙන් පලායාමට තැත් කිරීමේදී මුර අට්ටාලයක රාජකාරී කරමින් සිටි නිලධාරියෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
ඒ අනුව එක් රැදවියෙකුගේ අතට වෙඩි වැදී ඇති අතර ඔහු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
අනෙක් සැකකරු බන්ධනාගාර තාප්පයෙන් පැන පලායෑමේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් අල්ලා ගනු ලැබුවා.
මෙලෙස පලා යාමට තැත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාරගත කර සිටි රැදවියන් දෙදෙනෙක්.
එක් අයෙකු සිරදඩුවම් නියම වූ සිරකරුවෙකු වන බවත් අනෙක් රැදවියා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.




