ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වුණා.

ගාල්ල මහනගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද නැතහොත් විවෘත ඡන්දයක් පවත්වනවා ද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

අනතුරුව සමගි ජන බලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවනු ලැබුවා.

මේ හේතුවෙන් සභාව මිනිත්තු 30ක කාලයකට කල් තැබුවා.

ඝණ පූර්ණය සහිතව පැවති රහස් ඡන්දයෙන්, ඡන්ද 19ක් ලබා ගනිමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරී පත් වුණේ ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගල ඉහළගමගේ සුනිල් මහතායි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්ධු මහතා පත් වුණා.

මේ අතර ගාල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාතාමක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ, එම සභාවේ නගරාධිපතිවයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා අද පැවැති ඡන්ද විමසීමේදී මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා එම පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

මේ අතර මාතලේ රත්තොට උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ නිමල් කරුණාතිලක මහතා අද පත් වුණා. ඒ ඡන්ද 14ක් හිමිකර ගනිමින්.

එහි උප සභාපතිවරයා පත් වුණේ ඡන්ද 12ක් ලබා ගත් එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆියි.

එමෙන්ම සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණේ ජාතික ජන බලවේගය නියෝජන කළ එම්.ජී.ජේ. තුෂාර සම්පත් මහතායි. එහි උප සභාපතිවරයා ලෙස සර්ව ජන බලයේ කේ.ජී. දිමුතු ප්‍රියන්කර මහතා තේරී පත් වුණා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද පෙරවරුවේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

කොමසාරිස්වරිය විසින් එහිදී පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක් නැතහොත් රහස් ඡන්දයක් දැයි විමසූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කළ ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් මහතා සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර සමගි ජන බලවේග පක්ෂයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතාගේ නම යෝජනා වුණා.

එහිදී සමගි ජන බලවේගයේ මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතා ඡන්ද 22ක් හිමිකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.