ගෑස් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ එල් පී ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීම හා ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 4,765ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමුණේ රුපියල් 308කින්.

එහි නව මිල රුපියල් 1,910ක්.

එමෙන්ම රුපියල් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 890ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පැවසුවා.

එමෙන්ම මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතිනවා.

මෙට්‍රික් ටොන් 20,000ක් සමග තවත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

ඒ අනුව මැයි මාසයේදී ද අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තොග පවතින බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පැවසුවා.