ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඊයේ දිනයේදී පමණක් ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බවයි.

මේ අතර ගෑස් මේට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 28 වනදා ගෑස් මේට්‍රික් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර වෙළඳ පොළ තුළ අනවශ්‍ය ආකාරයෙන් ගෑස් තොග රැස් කිරීමෙන් වලකින ලෙස පාරිභෝගික අධිකාරිය වෙළඳ නියෝජිතයින්ට දැනුම් දෙනවා.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ අනවශ්‍ය ආකාරයෙන් ගෑස් තොග රැස් කරමින් සිටින වෙළෙඳ නියෝජිතීන් පිළිබඳ සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.