ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස හය තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බලකායේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ ජාතික සහ පළාත් පාසල් දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බවයි.

ආබාධිත ප්‍රජාව සහ සියලු පාසල් සඳහා සමාන ලෙස පහසුකම් බෙදා හැරීම සහතික කිරීමත් එම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණක් වන බවයි අග්‍රාමාරත්‍යවරිය සඳහන් කළේ.

ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අවශ්‍ය වන බවද එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා.

කාර්ය සාධක බලකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් එහිදී සිදු කර තිබෙනවා.

ඒ අනුව කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පත්කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.