රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය මත්පැල් බෝතල් සහ කරදමුංගු තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පළමු මහලේ, තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

විදේශීය මත්පැල් බෝතල් 673ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75ක් එලෙස සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම මත්පැල් බෝතල් සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයකින් පැමිණි, කුමන ගුවන් මගියෙකු විසින් රැගෙන එන්නට ඇතිදැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව රේගු නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සාප්පුවල සේවකයින්ගෙන් ප්‍රශ්න කරමින් සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.