ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සමඟ අද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.