ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිරිනමනු ලැබුවා.
දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා මහතා අතර නිල සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබෙනවා.
දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද එහිදී සිදු වුණා.
ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්රතිලාභ අත්කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්රමුඛ දූත පිරිස වෙත භෝජන සංග්‍රහයක්ද පිරිනමනු ලැබුවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජපාන රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.





