ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් රඩොවන් මහත්මිය හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ, බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සිහිපත් කළ ජනාධිපතිවරයා, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක්වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වි තිබෙනවා.