Published
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් නම්කර තිබෙන සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් මේ දක්වා තමන්ට භාරදී නැති බව පැවසුවා.
මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කර එය කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව නීතිපතිවරයා සමග සාකච්ඡා කර එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට නියම කළේ මෙම නඩුකරයට අදාළ සංයුක්ත තැටිය මීළඟ නඩු දිනයට පෙර කෙසේ හෝ විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා නඩුකරය සැප්තැම්බර් මස 07 වන දා කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.



