ඉන්දියාවේ තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින්, කොලිවුඩ් නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී පෙරළියක් සිදුකර තිබෙනවා.

අද පෙරවරු 11 වන විට ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, ප්‍රාන්ත සභාවේ මුළු ආසන 234න් ආසන 100කට වැඩි සංඛ්‍යාවක පෙරමුණ ගැනීමට සමත්වී තිබෙන්නේ තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

"එක් වරක් තීරණයක් ගත්තොත් මම මගේ වචනයටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ" යන සිය සිනමා පටයක සුප්‍රසිද්ධ දෙබස යථාර්ථයක් කරමින්, විජේ සිය ප්‍රථම මැතිවරණ සටනේදීම සිය ජනප්‍රියත්වය ඡන්ද බවට පත්කර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ 'කරූර්' ප්‍රදේශයේ පැවැති TVK පක්ෂයේ රැලියකදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 41 දෙනෙකු මියයෑමේ සිද්ධිය විජේගේ දේශපාලන ගමනට දැඩි බලපෑමක් එල්ල කළා.

එහෙත් එම බාධක මෙන්ම මධ්‍යම රජයේ පාලක BJP පක්ෂයෙන් සහ ප්‍රාන්තයේ පාලක DMK පක්ෂයෙන් එල්ල වූ දැඩි අභියෝග හමුවේ විජේ සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක් බවයි හින්දුස්ථාන් ටයිම්ස් ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

මීට වසර දෙකකට පෙර දේශපාලනයට පිවිසි තලපති විජේ, සිය අවසන් සිනමාපටය ලෙස 'ජනනායගන්' සදහා රංගනයෙන් එක්වුනා.

මෙම චිත්‍රපටයෙන් පසු රංගනයෙන් සමුගන්නා බවයි විජේ ප්‍රකාශ කළේ.

රංගනයෙන් සමුගෙන පූර්ණ කාලීනව දේශපලානයේ යෙදෙන බව ද ඔහු පැවසුවා.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර තලපති විජේ කළ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්වූයේ ශ්‍රී ලංකාව සතු 'කච්චතීවු' දූපත යළි ඉන්දියාවට ලබාගත යුතු බවයි.

ඒ අනුව තලපති විජේගේ දේශපාලන භූමිකාව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ද තීරණත්මක බලපෑමක් කරනු ඇති.