​කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 67.53 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

​විදේශ රටවල් කිහිපයක සිට එවා තිබූ සැකකටයුතු විදේශීය තැපැල් පාර්සල් 11 ක් තුළ සඟවා තිබියදී එලෙස සොයාගෙන ඇත්තේ කුෂ්, ගංජා, මත් පෙති සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්.

​පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙම පාර්සල් හඳුනාගෙන තිබූ අතර, අදාළ ලිපිනයන්හි හිමිකරුවන් ඒවා භාරගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිට මෙම පාර්සල් පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

​තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට මෙම පාර්සල් එවා ඇති අතර, ඉන් රුපියල් මිලියන 30.5 කට අධික වටිනාකමකින් යුත් කුෂ් කිලෝග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුනා.

මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.