පකිස්ථානයේ පැවති තුන්කොන් පන්දුවාර 20 - 20 ක්රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
ඒ, අවසන් මහා තරඟයේදී ශ්රී ලංකා පිල කඩුලු 06කින් පරාජය කරමින්.
අවසන් මහා තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගනයේදීයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන නායකයා මුලින්ම තීරණය කලේ පන්දු රැකීමටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිලේ සියලු දෙනා පන්දුවාර 19යි එක් පන්දුවක් තුල ලකුණු 114කට දැවී ගියා.
ශ්රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී යන විට ශ්රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 20ක් ලෙසයි.
පසුව කමිල් මිෂාර හා කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 64ක සබදතාවක් ගොඩනැගුවා. ශ්රී ලංකා පිලේ දෙවන කඩුල්ල බිද වැටුනේ පන්දුවාර 10යි පන්දු 03කදීයි.
පසුව ශ්රී ලංකා පිලේ කඩුලු 09ක් ලකුණු 30ක් තුළ බිද වැටීමත් සමග ඉනිම ලකුණු 114ට සීමා වුණා.
පිට පිට සිය දෙවන පන්දුවාර 20 - 20 අර්ධ ශතකය වාර්තා කළ කමිල් මිෂාර පන්දු 47කදී ලකුණු 59ක් රැස් කළා.
ඊට හයේ පහර 04ක් හා හතරේ පහර 02ක් ඇතුලත් වුණා.
ශ්රී ලංකා ඉනිම සුනු විසුනු කළ මොහොමඩ් නවාස් ලකුණු 17කට කඩුලු 03ක් හා ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 18කට කඩුලු 03ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ඇරඹූ පකිස්ථානය තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 04කදී කඩුලු 04ක් පමණක් දැවී තිබියදීයී.
පන්දු යැවීමේදී පහන් රත්නායක ලකුණු 11කට කඩුලු 02ක් බිද හෙලුවා.
මේ අතර, ශ්රී ලංකාවේ පවතින ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින්, ශ්රී ලංකා සහ පාකිස්තාන ජාතික පිරිමි කණ්ඩායම් ඊයේ පැවැති තුන්කොන් තරඟාවලියේ අවසන් තරගයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක් රැකීමට ද කටයුතු කළා.




