“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළේ “ හරිත මාවත ” ඔස්සේ රැගෙනයාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරුවන් රැගෙන ආ ගමන් මලු 04 ක තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ දහයයි ග්‍රෑම් 476 ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දස කෝටි හතලිස් හත් ලක්ෂ හැට දහසක් පමණ වනවා.
ඔවුන් දෙදෙනා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දුන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
මේ අතර විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 09 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි එක් ලක්ෂ 20,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 601 ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ ලක්ෂ තිස් දහසක් පමණ වනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික රියැදුරන් තිදෙනෙක්.
සිය භාරයට ගත් දුම්වැටි තොගය රාජසන්තක කළ බවත්, එම චීන ජාතිකයන් තිදෙනාට රුපියල් ලක්ෂ 09 ක දඩ මුදලක් ගෙවීමට නියම කළ බවත් රේගු නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.




