පෙබරවාරි 15 වන දින පමණ වනවිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබදව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
සෙසු ප්‍රදේශවල පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.




