වර්තමාන දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා එම ධූරයෙන් ඉවත් කර වෙනත් සුදුසු අයෙක් පත් කිරීමට කටයුතු නොකරන්නේ නම් මීට පෙර ප්‍රකාශ කළ පරිදි ලබන 17 සහ 18 යන දින දෙකේ පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි නියෝජිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඊයේ සිදු කළ සාකච්ඡාවේදී අවසන් විසඳුමක් නොලැබුණු බවයි.

"දුම්රිය එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හැටියට අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න දුම්රිය වෘත්තීය සමිති 37ක් අතරින් 25ක සාමාජිකයින් සහභාගී වුණා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාත් එක්ක සාකච්ඡාවට කැඳවලා තිබුණා. මේකට ප්‍රස්තූත කරුණ වෙන්නේ දෙපාර්තමේන්තුවේ පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය, දුම්රිය දිනෙන් දින කඩාවැටීම පිළිබඳව අපි විසඳුම් ලබා නොදුන්නොත් එළඹෙන 17 සහ 18 පැය 48ක වැඩවර්ජනයකට යනවා කියලා දැනුම් දීමත් එක්ක තමයි සාකච්ඡාවට කැඳෙව්වේ. අමාත්‍යාංශයේ ලේකම්වරයා සාධනීයව අපේ ප්‍රශ්න පිළිබඳව අපි ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව අවධානය යොමු කළා. ඔහු යම් යම් කරුණු කාරණා ගැන දැනුවත් වීම් සිද්ධ වෙලා තිබුණෙත් නෑ. ප්‍රධානම කාරණාව තමා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරක් වෙන ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුර පුරප්පාඩුව පවතින බව අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත් කිරීමක්වත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් සිද්ධ වෙලා තිබුණේ නෑ. ඒ සඳහාත් මැදිහත් වෙන බව සහ අපි ඉල්ලීම් කරපු කරුණු කාරණාවලට මැදිහත් වෙන බව පැවසුවා. නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව ඉවත් කිරීමේ කරුණ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ඔහුට ලබා දීම මේ මොහොතේ සිදු කර නොහැකි බව දැනුම් දුන්නා. අපි ඔහුට දැනුම් දුන්නා අපි ඉදිරි දින දෙක බලාගෙන ඉන්නවා. මේ පිළිබඳව බොහොම යහපත් උත්තරයක් ලැබිලා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරලා, වෙනත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කිරීමට අවශ්‍ය කටයුතු සලසන්න කියන ඉල්ලීම අපි කළා. අමාත්‍යවරයාව දැනුවත් කිරීමට කටයුතු කරන්න කියන එකත් අපි ඉල්ලීම් කළා. අපි හිතනවා මේ ප්‍රශ්නය විසඳෙයි කියලා. විසඳුම් නැත්නම් අපි මේ අත්වැල් බැඳගත් ආකාරයටම අනෙකුත් වෘත්තීය සමිතිත් සමග එක්ව 17 වෙනිදා සහ 18 වෙනිදා පැය 48ක අපේ වැඩවර්ජනයට යන්න තීන්දු කරලා තියෙනවා."

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.
"අඩුපාඩු සකස් කරන්න දැන් මෙහෙ තියෙන අමාත්‍යාංශයේ දැනුවත් වෙලා තියෙන කරුණුත් එක්ක ඔහුව තියාගෙන අඩුපාඩු සකස් කරන්න පුළුවන් වෙයි කියන මතයේ අපි නැහැ. රජය විසින් ලබන වසර සඳහා බොහෝ මුදල් වෙන් කරන්න ආදී කටයුතු සිද්ධ කරන්න කටයුතු කරනවා කියන පණිවිඩය මෙතැනින් ආවා. ඉතින් එතැනදී අපි පැහැදිලිවම කිව්වේ, කලේ මුනින් අත හරවලා වතුර වක් කරලා වැඩක් නැහැ, ඉස්සරවෙලා කලේ කෙලින් කරගන්න කියන එක අපි දැනුම් දුන්නා අමාත්‍යාංශයේ ලේකම්තුමාට."