දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඉකුත් 19 වනදා කෙරුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි බව කියන යතුරු පැදියේ පැදිකරුවායි.
ඉකුත් 21දා ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේදී ව්‍යාර්ථ වූ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු රැගෙන පැමිණ ඇත්තේ ද මෙම සැකකරුවාම බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයා ගත් බවයි විමර්ශකයන් පවසන්නේ.
මෙම සැකකරු අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද මේ වන විට 25 වන වියේ පසුවන්නෙකු බවද හඳුනාගෙන තිබෙනවා.
අධිකරණයට කරුණු වාර්තාකර ඔහු වෙනුවෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි විමර්ශකයන් වැඩිදුරටත් පවසන්නේ.
ඉකුත් 19 වනදා දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට මුල් අවස්ථාවේදීම තොරතුරු ලැබුණා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර එලෙස තුවාල ලැබූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කවිදු මදුසංක නොහොත් සැන්ඩෝ නමැත්තාගේ පියා බවයි පසුව අනාවරණ වුණේ.
ඒ අනුව, වෙඩි තැබීම මෙහෙයවනු ලැබූයේ සැන්ඩෝ සහ ඔහුට හිතවත් තවත් සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස් මල්ලි විසින් බවට සැක පල වුණා.
එසේ තිබියදී මෙම වෙඩි තැබීමෙහි පැදිකරු බවට සැකපිට දැන් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා අවිශ්ක හේෂාන් නොහොත් බෝධියාවත්තේ අවිශ්ක නැමැත්තාගේ අපරාධ කල්ලියේ සාමාජිකයකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
බෝධියාවත්තේ අවිශ්ක නමැත්තාද සැන්ඩෝ සහ කොස් මල්ලි යන අයගේ අපරාධ සහායකයෙකු වනවා.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් 19 වනදා දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ කෙරුණු වෙඩිතැබීම සහ ඉකුත් 21දා ගල්කිස්ස ටෙම්ලර්ස් පාරේ ව්‍යාර්ථ වූ වෙඩි තැබීම සඳහා ද යොදාගත්තේ එකම යතුරුපැදියක් බවයි.
මෙම වෙඩි තැබීම් දෙක සඳහාම පැමිණියේ එකම වෙඩික්කරු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
බෙල්ලන්විල ඇවිදින මන්තීරුව අසල ස්ථානයකදී යතුරුපැදිය ලබාගත් බව සහ ව්‍යාර්ථ වූ දෙවන වෙඩි තැබීමෙන් පසු එය කිසියම් ස්ථානයක දමා කුලී රථයකින් නිවසට ගිය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම එක් වෙඩි තැබීමක් සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් බෝධියාවත්තේ අවිශ්ක යන අය තමන්ට මුදල් ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඉකුත් 19 වන දා දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ සිදු වූ වෙඩි තැබීම සහ බෙල්ලන්විල පෙරේදා සිදුවූ වෙඩි තැබීම අතර කිසියම් සම්බන්ධයක් තිබිය හැකි බවටයි විමර්ශකයන් සැක කරන්නේ.
සැන්ඩෝ නැමැත්තාගේ පියා ඉලක්ක කර දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේ කෙරුණු වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස බෙල්ලන්විල වෙඩි තැබීම සැලසුම් කර ඇතැයි මූලික තොරතුරු වලින් කියවෙනවා.
එලෙස කෙරුණු බෙල්ලන්විල වෙඩි තැබීම සඳහා ඉලක්කය වූයේ කොස් මල්ලි නමැත්තාගේ දුරින් ඥාතියකු වන අයෙක්. තුවාල ලබා රෝහල් ගත කෙරුණු ඔහු පසුව මියගියා.
බෙල්ලන්විල කෙරුණු මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි වෙඩික්කරු බව කියන පුද්ගලයා සහ ඔහු පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන තැනැත්තාද මේ වන විටත් අත්අඩංගුවට ගෙනයි සිටින්නේ.
වෙඩි තැබීම සිදුකර පැයක් පමණ ඇතුළත රනාල ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
අපරාධය සඳහා ඔවුන් යොදාගත් බව කියන යතුරුපැදිය ද විමර්ශකයන් විසින් සොයාගෙන තිබෙනවා.
විමර්ශනවලදී සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ බෙල්ලන්විල කෙරුණු මෙම වෙඩි තැබීමෙහි වෙඩික්කරු බව කියන පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කර පලා ආ අයෙකු බවයි.
හමුදා කඳවුරු වලින් ආයුධ අස්ථානගත කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා තිබෙන බව අනාවරණ වී තිබෙනවා.




