බුදු දහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව පළකර සිටියා.

මෙම කණගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඊට අමතරව මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතිය ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අනීතීක ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණා.

මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා කනගාටුව පළ කරන බව සඳහන් කළා.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා විසින් සකස් කර ඇති බවත් ඊට පෙත්සම්කාර පාර්ශවයේ එකඟතාවය පළ කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නා.

ඊට අමතරව මෙම මාර්ගෝපදේශ මාලාව දින දෙකක් තුළ පොලිස් ස්ථානවලට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියා.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය සහ වග උත්තරකාර පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති එස්.එම්.යූ. සුබසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී අගවිනිසුරුවරයා විවෘත අධිකරණය පෙනී සිටි පෙත්සම්කාරියටත් දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වග උත්තරක් කරු සිය කනගාටුව පළ කර තිබෙන බවයි.

පෙත්සම සමථයට පත්කර ගැනීමට පෙත්සම්කාරිය අධිකරණයේ හමුවේ එකඟ වීම සම්බන්ධයෙන් අගය කරන බවත් අගවිනිසුරුවරයා පැවසුවා.

ඒ අනුව අදාළ කරුණු සටහන් කරගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටද තින්දු කළා.

ඒ අනුව 2023 වසරේ මැයි මස 27 වන දා අත්අඩංගුවට ගෙන එම වසරේ ජූලි මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව පළ කරන බවත් මේ තුළින් පෙත්සංකාරියගේ කීර්ති නාමයට යම් හානියක් සිදුවූයේ නම් සහ ඇයට සිදුවූ චිත්ත පීඩාව සම්බන්ධයෙන් තමන් බලවත් කණගාටුව පළ කරන බවත් එම නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කර තිබුණා.

2023 වසරේ පැවති "මෝඩාභිමානය" නමැති ප්‍රහසන වැඩසටහනකදී පෙත්සම්කාරිය සිදු කළ ප්‍රකාශ වලින් බුදු දහමට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම පෙත්සම්කාරිය අත් අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත් කිරීමටත් නියම කෙරුණා.

ඉන් පසුව කොළඹ මහාධිකරණයේ නියෝග මත ඇයව ඇප මත මුදා හරිනු ලැබුවා.

ඉන් අනතුරුව ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.