පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, එම තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු අවසන් පූර්ව වටයේ තරගය කඩුළු 9කින් ජය ගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169 ක්.
ජයග්‍රාහී ලකුණු 170 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 5 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 173 ක් ලබාගනිමින් තරගය ජයගත්තා.
මේ අතර, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගය අද පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව හා එංගලන්තය අතරයි.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 07ට ආරම්භවීමට නියමිතයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉහලම දස්කම් දක්වන කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව හා එංගලන්තය අතර මෙම තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි.
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේදී බහුතරයක් තරග ශ්‍රී ලංකා තණතීරු වල පැවති බැවින් මෙම තරගයේ වැඩි වාසි ඉන්දියාව දෙසට යොමුව ඇති බවටද ඔවුන්ගේ මතයයි.
එංගලන්ත කණ්ඩායම මූලික වටයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජය වූ අතර ඉන්දියාව, සුපිරි 8 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාවට පරාජය වුණා.




