බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

මේ අතර කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාව වෙත දැනුම් දෙනවා.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.