‘නිපා’ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමට ජනතාවට උපදෙස් දෙනු ලබන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.

කිසියම් සැකසහිත රෝගී තත්ත්වයක් හඳුනාගතහොත්, වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වාර්තා වලට අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන තිබුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීම නිර්දේශ කර නොමැති බවත්, වර්තමානයේදී ශ්‍රී ලංකාවට රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවත් එම නිවේදනයේ සදහන්.

නිපා වෛරස රෝගය යනු ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක්.

ආසාදිත සත්ත්වයන් හෝ ආසාදිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති වීමෙන් මෙම රෝගය ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකියි. මිනිසුන් අතර ආසාදනය වීම සිදුවිය හැක්කේ සමීප හා දිගුකාලීන සම්බන්ධතාවය හරහා බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ.

එමෙන්ම මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වැනි වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය හෝ අහඹු සම්බන්ධතා මඟින් පහසුවෙන් නොපැතිරෙන බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

කඩිනමින් රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් මෙන්ම, රෝගියකු හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බව එහි සඳහන්.

ඒ සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු, රෝග නිර්ණය කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ද ඇතුළත් වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.