මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙසින් කිරුළු පැළදිමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, එම තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 96කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255 ක්.

මෙහිදී ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එම තරගයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 46කදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 89ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

ඉෂන් කිෂන් පන්දු 25කදී ලකුණු 54යි.

අභිෂේක් ෂර්මාද පන්දු 21කදි ලකුණු 52ක් රැස් කළා.

කෙසේවෙතත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්ට කිසිදු ලකුණක් රැස් කිරිමට හැකි වුණේ නැහැ.

ජේම්ස් නීෂම් ප්‍රතිවාදි කඩුළු 3ක් බිද හෙළුවා.

කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 256ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 159 ක් පමණයි.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රාහ් කඩුළු 4 ක් සහ අක්සාර් පටෙල් කඩුළු 3 ක් බිද හෙළුවා.

තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රාහ් දිනා ගනු ලැබුවා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ සංජු සැම්සන්.