මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.
'' අද දිනයේදී මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එම ප්‍රදේශවල අහස අද දිනයේදී වලාකුළින් බරව පවතිනවා ඇති. ඒ වගේම අද දිනයේදී සබරගමුව පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකියි. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනයේදීත් අපේක්ෂා කළ හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.''
මේ අතර ඇදහැළෙන මහ වැසි හේතුවෙන් මධ්‍යම කදුකරයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ.
"මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම සිට විවෘත කර තිබෙනවා.එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමත් සමගම කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා ගඟ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් ලෙස සිටින ලෙස තමයි ඉහළ කොත්මලේ ජලාශයේ භාර ඉංජිනේරුවන් කියා සිටින්නේ. ඒ වගේම කැන්යොන් ජලාශයේ වාන් දොරටු දෙකක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙන බව විදුලිබල මණ්ඩලය කියනවා. විමලසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දැමීමට පටන් ගැනීමත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව තමයි විදුලිබල මණ්ඩලය කියා සිටින්නේ. ඒ වගේම නුවරඑළිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල් අද දින නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන් කටයුතු කර තිබෙනවා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ. මේ සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් විදුහල්පතිවරුන් කියා සිටියා. හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙලා තිබෙනවා. ඩෙවොන් දියඇල්ලට ජලය ගලාබසින ඩෙවොන් ඇළ පිටාර ගැලීම නිසා එහි නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. එහි පවුල් 30ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා. තවත් විශේෂ දෙයක් කිව යුතුයි, විශේෂයෙන්ම හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක්ම පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.''
එමෙන්ම හැටන්, කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද අළුයම පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් ආවාස ගෙයි වැඩ සිටි හිමිනමකට තුවාල සිදුවී ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
එමෙන්ම එම ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් නියෝජිත නිහාල්සිරි ගම්ලත් පැවසුවේ.
"ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසාවෙන් සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහොපිටිය යන ප්‍රදේශවලට අධික වර්ෂාව මේ වෙනවිටත් ඇදහැලෙමින් පවතිනවා. ඒකට විශේෂම හේතුව තමයි කඳුකර ප්‍රදේශයේ තියෙන ප්‍රදේශවලට අධික වර්ෂාව ඇදහැලීම නිසාවෙන් කැලණි ගඟ, වී ඔය, ගුරුගොඩ ඔය යන ගංගාවන් සහ ඔයන් අතර ජල ධාරිතාව ඉතාමත් ඉහළ ගොස් තිබෙන ආකාරයක් අපිට ඊයේ රාත්‍රියේ සිට දැකගන්නට හැකියාව වුණා. යළිත් කැලණි ගඟ සහ ගුරුගොඩ ඔය, වී ඔය යන ගංගාවන් මේ වන විට ජල මට්ටම යම් යම් වශයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ නිසාවෙන් වර්ෂාපතනය ගැන කතා කරන විට මේ වන විටත් අධික වර්ෂාවක් යටියන්තොට සහ මා සඳහන් කළ ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින බවයි සඳහන් කළ යුත්තේ. ඒ වගේම ජනතාවට විශේෂයෙන්ම මතක් කරනවා කොළඹ - හැටන් මාර්ගය පාවිච්චි කරන රියදුරු මහතුන්ට විශේෂයෙන්ම ඔබ ධාවනය කරන විට වාහනය සෙමින් ධාවනය කරන්න අධික වර්ෂාව නිසා මේ මාර්ගයේ ලිස්සන ස්වභාවයක් තියෙනවා. ඊයේ දවස වෙනකොටත් අපිට රිය අනතුරු කීපයක් අසන්නට දැකගන්නට හැකියාව ලැබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ ගැන. මේ වන විට අපිට දැකගන්නට හැකියාව වුණා දෙහිඕවිට, රුවන්වැල්ල යන ප්‍රදේශවලත් ඒ වගේම අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කයට මායිම් වන කුඩගම ප්‍රදේශවලත් මඳ වර්ෂාවන් පහත් බිම් කීපයක් යටවී තිබෙන අයුරු අපිට දැකගන්නට ලැබුණා. ඊයේ රාත්‍රියේ සිදුවීමට සමානව මේ වන විට මනම් සෙමින් සෙමින් ජල මට්ටම යමක් වැඩිවීමක් පවතිනවා අපිට දැකගන්නට හැකියාව ලැබුණා. පහත් බිම් කීපයක්ම යට වෙලා තිබෙනවා මේ වන විට. සුළු සුළු ගංවතුර තත්ත්වයක් නිසා අතුරු මාර්ගයන් යටවී තිබීමෙන් ජනජීවිතයට බාධාවක් ඇතිවෙන තැනුත් අපිට දැකගන්නට හැකියාව ලැබුණා. යටියන්තොට සීපෝත් මාර්ගයේ බෙරන්නාව ප්‍රදේශයේ කඳුගැටයක් කඩාවැටීමෙන් ඒ 2030දීත් නායයාම් සිදු වූ ස්ථානයේම යළිත් කඳුකැවැත්තක් කඩාවැටීම නිසා ජනජීවිතයට බාධාවක් ඇතිවෙලා තියෙනවා. මේ වන විට ප්‍රාදේශීය සභාව, පොලීසිය එක්ව ඒ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන නමුත් එහෙත් ඔවුන්ටත් ඒ කටයුතු සිදුකිරීමට හැකියාවක් නැහැ මේ වර්ෂාව නිසාවෙන් පස්කන්දේ බුරුල්වීමක් සිදුවෙනවා. ඒ නිසාත් දැන් මේ වන විටත් ඒ ගමනාගමනට බාධාවක් ඇතිවෙනවා.''
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.
"මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ, උඩදුම්බර, උඩපලාත සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ, නෝවුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, තලවකැලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබෙන අතර, මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදනය ක්‍රියාත්මක වන අතර, මේ සමගම ඉදිරි දින කිහිපය තුළත් යම් තරමක වර්ෂාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කරලා තියෙනවා. එම නිවේදනය සමග ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න, මාර්ග භාවිතා කරන්න. මොකද ඉතා කෙටි කාලයකදී අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ වර්ෂාපතනය සමග පස්කඳු සෝදායාමේ සහ ගල් පෙරළීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩියෙන් පවතිනවා. ඒ නිසා පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඇතිවුණු 'දිට්ඨවා' සුළි කුණාටුව සමග ඇතිවී තිබෙන නායයෑම්වල ලක්ෂණ මතු වී තියෙන ප්‍රදේශවල ජනතාව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සැලකිලිමත් විය යුතුයි ලැබෙන අධික වර්ෂාපතනය සමග එම ස්ථාන නැවත සක්‍රීය වෙලා යම් යම් ආකාරයක අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා යම් ආකාරයක නායයෑමේ මූලික ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් එම ස්ථානවලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙස ඉල්ලා සිටිනවා."




