ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ 2025 වසර සඳහා වන වාර්ෂික කාර්යසාධන වාර්තාව මගිනුයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මගින් පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් සිදුකළ ඇගයීමකදී මේ බව තහවුරු වී තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක්කළ කරුණු 56 අතුරින් කරුණු 46 කම ආරක්ෂිතභාවය පවතින්නේ ඉහළ අවදානම් මට්ටමක බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

සයිබර් තාක්ෂණය අවභාවිත කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීම, සංවේදී තොරතුරු සොරකම් කිරීම, මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවීම මෙන්ම නිල වෙබ් අඩවියේ අන්තර්ගතයන් විකෘති කිරීම වැනි අනර්ථකාරී ක්‍රියා සිදුවීමේ දැඩි අවදානමක් මේ වන විට මතුව තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවට විගණන නිරීක්ෂණ මගින් ද පෙන්වා දී තිබෙනවා.