සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) වනදා දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ වුණා.

මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අදයි.

ඊයේ (09) දිනය තුළ සිදු කරන ලද පරීශ්‍ර පරීක්ෂාවන් සහ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සවිස්තර වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව ඊයේ දිනය තුළ නිවාස, පාසල් සහ කර්මාන්තශාලා ඇතුළුව පරිශ්‍ර 31,155 ක් පරීක්ෂා කර ඇති බවයි එම වාර්තාවේ දැක්වුණේ.

පරීක්ෂා කළ ස්ථානවලින් පරිශ්‍ර 8,069 ක් මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, පරිශ්‍ර 1,864 ක මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (09) දිනය තුළ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නිවේදන 1,079ක් නිකුත් කර ඇති අතර, 711 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එම වාර්තා නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

කර්මාන්තශාලා (61%), ඉදිකිරීම් බිම් (55.4%) සහ ආගමික ස්ථාන (51.5%) පරීක්ෂා කිරීමේදී ඒවායින් අඩකට වඩා මදුරුවන් බෝවිය හැකි මට්ටමේ පවතින බව සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක පවතිනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 74 ක් ආවරණය කරමින් 2026 ජූනි 8 සහ 9 යන දිනවල ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළ පරිශ්‍ර 62,351 ක් මේ වන විට පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් පරිශ්‍ර 16,190 ක මදුරුවන් බෝවීමේ අවදානම් තත්ත්වයක දැනට පවතින බව අනාවරණ වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එය සමස්ත පරීක්ෂා කළ ස්ථානවලින් සියයට 26 ක්.

වැඩිම පරීක්ෂා කිරීම් ප්‍රමාණයක් සිදු කර ඇත්‌තේ නිවාස ආශ්‍රිතව වන අතර, දින දෙක තුළ පරීක්ෂාවට ලක් කළ නිවාස 57,008 ක් අතරින් නිවාස 14,291 ක මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන තිබෙනවා.

පරීක්ෂා කළ මුළු පරිශ්‍රවලින් ස්ථාන 3,948ක මදුරු කීටයන් සිටින බව තහවුරු වූ බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වූයේ නිවාස (සියයට 58) සහ ඉදිකිරීම් බිම් (සියයට 22.4) ආශ්‍රිතවයි.

නීති රීති කඩකළ ස්ථාන සඳහා නිවේදන 2,244ක් නිකුත් කර ඇති අතර පුද්ගලයින් 1,500 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන් කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම්වලින් වැඩි පිරිසකට නීතිමය පියවර ගෙන ඇති බවයි එම වාර්තා නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසන්නේ.

එවන් පසුබිමක් තුළ තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.