කොළඹ පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ඊයේ පස්වරුවේ හටගත් ගින්න පැය 12ක මෙහෙයුමකින් පසුව අද අලුයම් කාලයේ සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. පිටකොටුවේ වෙළඳසැල්වල භාණ්ඩ ගබඩා කිරිමේදී දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසන්නේ. ඔහු ප්‍රකාශ කළේ අනාරක්ෂිත ලෙස භාණ්ඩ ගබඩා කිරීම තුළින් ඉදිරියේද මෙම වෙළඳසැල්වල මෙවැනි අනතුරු සිදුවිය හැකි බවයි. මේ පිළිබඳව තමන් සභාපතිත්වය දරන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඉදිරියේදී සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ඊයේ පස්වරු 04ට පමණ විදුලි උපකරණ සහ ජංගම දුරකථන අලෙවි සැලක සිව්වන මහලේ මෙම ගින්න හට ගෙන තිබුණා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද යොදවා තිබුණා. එමෙන්ම කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 65කට අධික පිරිසක් සමග ගිනි නිවීම් රථ 14ක් සහ තවත් ආයතන කිහිපයකම ගිනි නිවීම් රථද යොදවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Published