මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු පහරදී හිරිහැරයට ලක් කිරීම තුළින් සුරා බදු නිලධාරීන් හත් දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව එක් එක් සුරාබදු නිලධාරියා රුපියල් 75000 බැගින් අදාල නිලධාරීන් හත් දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් 525000/- මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නියෝගයේ සඳහන් කළා.
ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට වරදකරුවන් කෙරුණු සුරා බදු පරීක්ෂක ආර්.එන්. රණවීර, ජී.ඩී. පුෂ්පකමාර, ඩබ්ලිව්.ඩී.ඉන්දික, එස්.ඩී.ගමගේ, ඉරේෂ් කාවින්ද, ජේ.එම්.මධුශංක, පී.ටී.සී.ඒකනායක යන වගඋත්තරකරුවන්ට මෙසේ වන්දි කිරීමට නියම වුණා.
එම වන්දි මුදල තීන්දුව ලබාදුන් දින සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ.
මිදිගම ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවකු වන දිනේෂ් ප්‍රියදර්ශන දොඩංගොඩ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම විභාග කළ ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
පෙත්සම්කරු කියා සිටින්නේ 2023 වසරේ ජනවාරි මස 4 වනදා තමන්ගේ අවන්හල පිටත කිසියම් කලබලයක් සිදුවන ආකාරය ඇසුණු බවත් ඒ අනුව තමා ආයතනයේ සවිකර තිබූ සීසී ටීවී කැමරා පරීක්ෂා කළ බවයි.
එහිදී වග උත්තරකරුවන් කිහිප දෙනෙකු විසින් තම සේවකයින්ට පහර දෙන ආකාරය දුටු බවත් ඔහු සඳහන් කරනවා.
පසුව තම ආයතනය තුළට කඩා වැදුණු එම නිලධාරීන් පොලිසිය බව පවසමින් බැටන් පොලු වලින් තමන්ට පහර දුන් බවත් පසුව ඇඳ ඇතිරිල්ලකින් ඇස් බැද පහරදීම් සිදු කළ බවත් මත්පැන් බෝතල් පිළිබඳව වරින් වර ප්‍රශ්න කළ බවක් ඔහු චෝදනා කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර සුරා බදු නිලධාරීන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.
මෙම අනීතික ක්‍රියාව හරහා වග උත්තරකරුවන් පෙත්සම්කරුට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය පෙනී සිටියා.




