ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව අද අළුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් ”පොඩි ලැසී” ඉදිරි විමර්ශන සදහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් එම සැකකරු මෙරටට රැගෙන එනු ලැබුවේ අද අලුයම 5යි 55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 142 දරන ගුවන් යානයෙන්.

කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව අතුරුදන්ව සිටි පොඩි ලැසී 2024 වසරේදී මුහුදු මගින් ඉන්දියාවට පලාගොස් තිබුණා.

රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දිය ආරක්ෂක අංශ විසින් මුම්බායිහිදී ” පොඩි ලැසී ” නමැතැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ 2025 වසරේ ජනවාරි මාසයේදීයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

පොඩි ලැසී නමැත්තා අද දින මෙරටට රැගෙන එනු ලැබුවේ ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

රටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සදහා තවත් රතු නිවේදන 89 ක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.