පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ මීටර සියය නිදහස් ආර කාන්තා මූලික වටයේ තරගයකදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මිනගි රූපසිංහ අද සමත් වුණා.
ඒ, විනාඩි 1යි තත්පර බිංදුවයි දශම 3යි 1ක කාලයකින් තරඟය නිමා කරමින්.
මෙය මෙම ඉසව්වෙන් ඇය දැක්වූ හොඳම දක්ෂතාව ද වනවා.
කෙසේ වෙතත් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වූයේ නැහැ.
අවසන් ශ්‍රේණිගත කිරීම්වලදී ඇයට හිමි වූයේ 35වන ස්ථානයයි.
මීට පෙර මීටර් සියය පසුපස ආර ඉසව්ව සඳහාද මිනගි රූපසිංහ තරඟ වැදුනා.
එහිදී මූලික වටයේ තරඟයකදී ඇය දිනා ගත්තේ 3වන ස්ථානයයි.
මීටර දෙසීය පසුපස ආර ඉසව්ව සඳහාද මිනගි රූපසිංහ තරඟ වැදුනා.
එහිදී ඇය සහභාගී වූ මූලික වටයේ තරඟයේදී ඇය දිනාගත්තේ 4වන ස්ථානයයි.
ඒ අනුව මෙම ඉසව් දෙකේද ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වූයේ නැහැ.
මේ අතර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනෙහි මේ වනවිට පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වී සිටිනවා.
ඒ රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින්.
එංගලන්තය රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිඳියි.



