අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදීයි.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාම සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීමට ඔවුන් දෙදෙනො විසින් රුපියල් 25,000ක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා තිබෙනවා.

එම අල්ලස් මුදල භාරගත් අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.