බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය එරට ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් වර්ජනය කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ එම්. නස්මුල් ඉස්ලාම් ඉල්ලා අස් නොවන්නේ නම් සියලු තරග වර්ජනය කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ පසුබිමක් තුළයි.

චැටෝග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ස්ප්‍රස් යන කණ්ඩායම් අතර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය එරට වේලාවෙන් අද මධ්‍යහ්න 12යි 30 ට ආරම්භවීමට නියමිතව තිබුණා.

එහෙත් තරගය ආරම්භ කිරීම සදහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ක්‍රීඩාපිටියට නොපැමිණීම හේතුවෙන් එම තරගය ආරම්භ කිරීමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයා මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට එරෙහිව එවැනි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අදාළ වැඩසටහනේදී බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක තමීම් ඉක්බාල් ඉන්දියානු නියෝජිතයෙකු ලෙස හැදින්වීම මෙම ගැටළුකාරී තත්ත්වය හටගැනීමට හේතුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

එම ප්‍රකාශයට එරට ජාතික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් නියෝජනය කරන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුබසාධන සංගමයද ඊයේ දිනයේදී විරෝධය පළ කර තිබුණා.