අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කර දෙන ලෙස උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා තුර්කියට නියෝගය කර තිබෙනවා.

ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා උගන්ඩාවේ හමුදා ප්‍රධානියා මෙන්ම එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත්‍රයායි.

සිය ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවද එසේ නොකළහොත් තුර්කිය සමඟ පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවද ඔහු පවසා තිබෙනවා.

සෝමාලියාවේ ආරක්ෂාව වෙනුවෙන් උගන්ඩා හමුදාව කළ මෙහෙවර තුර්කිය විසින් නිසි ලෙස ඇගයීමට ලක් කර නොමැති බවයි උගන්ඩා හමුදා ප්‍රධානියා කියා සිටින්නේ.

අමෙරිකානු ඩොලර් බිලියනයක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කරදෙන ලෙස තමන් ඉල්ලා සිටින්නේ ඊට වන්දියක් ලෙස බවද ඔහු කියා සිටියා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ උගන්ඩා හමුදා ප්‍රධානියා මෙවැනි විකාරරූපී ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට පෙර ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි විවාහ කර ගැනීම සඳහා එළදෙනුන් සියයක් ලබාදීමට සූදානම් බවටද ඔහු ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් උගන්ඩ හා හමුදා ප්‍රධානියාගේ කොන්දේසි සම්බන්ධයෙන් තුර්කි රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එසේ තිබියදී ඇතැම් අයකු පවසන්නේ මෙය උගන්ඩා හමුදා ප්‍රධානියා විසින් සරදමට කළ ප්‍රකාශයක් විය හැකි බවයි.