බූස්ස බන්ධනාගාරයේ කලහ කළ රැදවියන් හය දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කුරුවිට, කළුතර, අගුකොලපැලැස්ස බන්ධනාගාර වෙත රැදවියන් දෙදෙනා බැගින් මාරු කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
බූස්ස බන්ධනාගාරයේ ඩී වාට්ටුවේ රදවා සිටි රැදවියන් පිරිසක් ඊයේ දිනයේ ව්‍යායාම් සදහා එම වාට්ටුවෙන් පිටතට ගෙන තිබුණා.

යළි ඔවුන් එම වාට්ටුවට ඇතුල් කිරිමේදි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව රැදවියන් හත් දෙනෙකු ඩී වාට්ටුවේ වහලය මත නැගද කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එහිදී ඔවුන් එම වාට්ටුවේ වහලය සහ අගුළුවලටද හානි සිදුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහාය ඇතිව කලහකාරී ලෙස හැසිරුණු එම රැදවියන් යළි ඩී වාට්ටුව තුළ රදවා තිබෙනවා.

එලෙස කලහකාරී ලෙස හැසිරී ඇත්තේ සිරකරුවන් දෙදෙනෙකු සහ සැකකරුවන් පස් දෙනෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

බූස්ස බන්ධනාගාරයේ නව පරිපාලනයට එරෙහිවයි රැදවියන් එලෙස කලහකාරී ලෙස හැරිසිරී ඇත්තේ.

එම බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරී ජීවක ප්‍රනාන්දු මහතා මෑතකදී පත් කර තිබෙනවා.

තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන ඒම සහ රැදවියන් විසින් සිදුකරන විවිධ අක්‍රමිකතා මැඩලීම සදහා එම බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ වනවිටත් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.