විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රමණ වේෂධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතුවී ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාවයද එහිදී අවධාරණය කර තිබෙනවා.

රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම සිදුවීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව මහානායක හිමිවරු මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙසයි මෙහිදී මහා සංඝරත්නය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ.

එමෙන්ම, වත්මන් ප්‍රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂුන් වහන්සේට පමණක් සිදුකළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් මහා සංඝරත්නය එහිදී පෙන්වා දී තිබෙනවා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමිපාණන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපත පූජ්ය බලපිටියේ සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ, ඇතුළු ත්‍රෙයිනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන්  කළා .