මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු හා අනුබල දුන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැල්ලවත්ත, ඩබ්.ඒ. සිල්වා මාවත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 560ක්, රුපියල් එක් ලක්‍ෂ 50,000 ක මුදලක්, ජංගම දුරකතන 02 ක් හා ත්‍රිරෝද රථයක් ද සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ලේගොඩ මද්දුමගේ දිනේෂ් තරංග නොහොත් තරංග යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ප්‍රධාන පුද්ගලයා බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු ලබාදුන් තොරතුරු අනුව තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.