මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්න කෙරෙන චීවරධාරීන් විසි දෙදෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ මේ වනවිට පරස්පර අදහස් ප්‍රකාශ වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ඇතැම් චීවරධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිවයිනට රැගෙන ආ සිය ගමන් මලුවල මත්ද්‍රව්‍ය තිබුණේ දැයි තමන් නොදැන සිටි බවයි.
එහෙත් තවත් චීවරධාරීන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිය අනුදැනුම මත එම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ බවයි.
රුපියල් කෝටි 110ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී පසුගියදා අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.
ඒ අනුව එම චීවරධාරීන් පිරිස ඊයේ රාත්‍රියේම කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාර්යාල වෙත රැගෙනවිත් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.
ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුව කටුනායක ගුවන් තොටුපොලේදී මෙම චීවරධාරීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයක් නිම කර මෙරටට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී සැකකාර චීවරධාරීන් විසි දෙදෙනා විසින් මෙරටට ගෙනඑනු ලැබූ ගමන් මලුවල ව්‍යාජ පතුල්වල සූක්‍ෂම ලෙස සගවා තිබියදී ‘කුෂ්‘ සහ ‘හෂීස්‘ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.
මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල්වලට ඉහළින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එක් අයෙකුගේ ගමන් මල්ලක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ත් 05 ත් අතර ප්‍රමාණයක් අසුරා තිබූ වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ පිරිසක් බවත්, ඔවුන් ඉකුත් 22 වැනිදා බැංකොක් බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව ඔවුන්ගේ විදේශ සංචාරය සංවිධාන කළ හිමිනමද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



