පුරාවිද්‍යා වටිනාකමින් යුත් බවට සැකකෙරෙන භාණ්ඩ කිහිපයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සැකකරුවන් සිව් දෙනෙකු මදුරන්කුලිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පරීක්‍ෂාවකදීයි.

එම වෑන් රථයේ තිබී උස අඩි එක හමාරක් පමණ වන නෙළුම් මලක් හා ස්වස්ති කැටයම් සහිත පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැකකරන මංජුසාවක් තුල තිබූ මැණික් ගල් බවට සැකකරන ගල් කිහිපයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්.

මේ අතර සෙට්ටිකුලම, ඔට්ටරාකුලම ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.