ජාතික ජන බලවේගයේ වැලිගම ප්රාදේශීය සභා මන්ත්රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතර ප්රදේශයේදීයි.
පසුගිය කාලය පුරා රටේම වැඩි අවධානයක් යොමු වූ ප්රාදේශීය සභාවක් තමයි වැලිගම ප්රාදේශීය සභාව.
ඒ, එම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ අතර පැවති වාද විවාද හේතුවෙන්.
සභාපති තනතුර සඳහා ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් මන්ත්රීවරුන් දෙදෙනෙකුගේ නම් ප්රකාශයට පත් කිරීමට පෙර සිටම ඒ ගැන විවිධ අදහස් පළ වුණා.
එවන් වාද විවාද මැද සභාපති සහ උප සභාපති තනතුරු දෙකට මන්ත්රීවරුන් දෙදෙනෙක් තෝරා ගැනීම සඳහා වැලිගම ප්රාදේශීය සභාවේ මංගල සභා වාරය පසුගිය මස 27 වනදා පැවැත්වුවද සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඇතුළු ඉතිරි වැඩකටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරියට සිදු වුණා.
ඒ, එම මංගල සභා වාරය උණුසුම් වීම හේතුවෙන්.
ඊට හේතු වුණේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවීමත් සමගයි.
එම උණුසුම මැකී යන්නටත් පෙර පසුගිය ජූලි 16 වනදා යළිත් වැලිගම ප්රාදේශීය සභාවට අදාළව තවත් ප්රවෘත්තියක් වාර්තා වුණා.
ඒ, වැලිගම ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල වීම හේතුවෙන්.
එදින අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මන්ත්රීවරයාගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල කර තිබුණා.
ඒ, මන්ත්රීවරයාගේ නිවසට පොලිස් ආරක්ෂාවද ලබා දී තිබූ පසුබිමක් තුළයි.
කෙසේවෙතත් නිවසේ සිටි පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි ප්රහාර හමුවේ වෙඩික්කරුවන් පළා ගිය බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගත්තා.
එහි ප්රතිඵලයක් ලෙස අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.
එම පුද්ගලයා මාතර ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මෝටර් රථයක්ද සමගින් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු කැලණිය ගෝනවල ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.
මේ අතර වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් මාසයකට අධික පැවති උණුසුම පසුගියදා අවසන් වුණා.
ඒ, එම ප්රාදේශීය සභාව දෙවන වරටත් රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී වැලිගම ප්රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා.
ඒ අනුව සභාපති තනතුරට සමගි ජන බලවේගයේ ලසන්ත වික්රමසේකර මහතා පත් වුණා.