අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ අධිකරණය, එය නොපමාව ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා වෙත නියෝග කළේ. එමෙන්ම, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියම කෙරුණා.
2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්රදේශයේ පැවැති ප්රචාරක රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල කර පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර, පසුව අභියාචනාධිකරණය මගින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබුණා.
එම නිදහස් කිරීමට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද, ප්රේමලාල් ජයසේකර මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඔහු මේ වන විට විදේශගතව සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අග්රවිනිශ්චයකාර ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා.




