සිය මවට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව ලබා දෙන ලෙසට සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තා මෙතෙක් ඉල්ලිමක් කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ සදහා ඉල්ලීමක් කළද බැකෝ සමන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යනු ලබන්නේ මිද්දෙණිය පොලීසිය විසින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවට තහවුරු කළහොත් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
බැකෝ සමන්ගේ මවගේ මරණ පරීක්ෂණය මේ වනවිට තංගල්ල රෝහලේදී සිදුවනවා.
පොලීසිය පැවසුවේ එම කටයුතු අවසන්වීමෙන් පසු අදාළ කාන්තාවගේ දේහය ඥාතින්ට භාරදෙන බවයි.
ඒ අනුව බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු හෙට දිනයේ මිද්දෙනිය, උල්හිටියාව පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.
පසුගියදා සිය නිවස ඉදිරිපිට රැදි සිටියදී එම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.
එහිදී බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවටයි අනාවරණ වූණේ.
ඔවුන් පැමිණි යතුරු පැදිය බවට සැක කෙරෙන යතුරු පැදියක් රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක - මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී ඊයේ සොයාගත්තා.
ඒ, ඌරුබොක්ක පොලීසිය විසින්.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරනවා.
ඒ සදහා මිද්දෙණිය පොලිස් ස්ථානයේ කණ්ඩායම් 5ක්ද පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




