මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු සම්බන්ධ නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

2023 වසරේ සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙන බව පෙත්සම්කාර රවී සෙනවිරත්න මහතා පවසනවා.

එම අධිකරණය හමුවේ තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබෙන බවත් ඒ අනුව අදාළ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අදාළ නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව අදාල නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.