අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින්, ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගලයන් පිරිසක් සිදු කරන මූල්‍ය වංචාවන් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් වූ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
විශේෂයෙන් පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද "WhatsApp" සහ "Telegram" වැනි ගිණුම් හරහා පුද්ගලයන් රවටා මූල්‍ය වංචා සිදුකිරීමේ ප්‍රවණතාවයක් දැකගත හැකි වනවා.
මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ විමර්ශන ඒකක ලෙස හඳුන්වා දෙමින් ඇමතුම් ලබා ගැනීම, ජාතික හැඳුනුම්පත යොදාගෙන වංචාවක් සිදුවී ඇති බවට හෝ නඩු පවරා ඇති බව පවසමින් බියගැන්වීම සහ ව්‍යාජ නිල ලාංඡන යොමු කරමින් උදව් කරන මුවාවෙන් ජනතාව මුලා කිරීම මෙලෙස වංචාකරුවන් භාවිත කරන ප්‍රධාන උපක්‍රම කිහිපයක්.
එමෙන්ම "Verification" සඳහා හෝ අත්හිටවූ ගිණුම් නිදහස් කිරීමට යැයි පවසා, බැංකු ගිණුම්වලට "Login" වීමට අවශ්‍ය OTP අංක ලබා ගැනීම හෝ වෙනත් ගිණුම්වලට මුදල් තැන්පත් කරවා ගැනීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.
මේ අනුව මෙවැනි වංචාවලට හසුනොවන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුමකින් හෝ සමාජ මාධ්‍ය ජාලා හරහා ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV අංකය හෝ OTP අංක ඉල්ලා නොසිටින බව ද පොලිසිය අවධාරණය කරනවා.
තවද, ශ්‍රී ලංකා පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසි විටෙකත් පුද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, නිල දැනුම්දීමක් සඳහා ලිඛිතව ලිපියක් එවනු ලබන බවයි පොලිසිය පවසන්නේ.
එබැවින් මෙවැනි සැකකටයුතු ඇමතුම් හෝ පණිවිඩ ලැබුණහොත්, කිසිදු මුදල් හුවමාරුවක් සිදු කිරීමට පෙර, අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී තහවුරු කරගන්නා ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙනවා.




