දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

මෙම අභියාචනා පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම විභාගය සඳහා මාර්තු මස 9 වනද කැඳවන බවයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් නියම වුණා.

නලින් ප්‍රනාන්දු මහතාට ද නියම වුණේ බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක්.

එම දඬුවමට එරෙහිව මොවුන් මෙම අභියාචන ඉදිරිපත් කර තිබෙනවා.