මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු මියයාමේ සිද්ධියත් සමග එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තර කර තිබෙනවා.

අවශ්‍ය වුවහොත් අමතර ආරක්‍ෂාවක් ලබාගැනීමට පොලීසිය ද දැනුවත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් එම බන්ධනාගාරයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව අද පෙරවරුවේ සිට නඩු කටයුතු සදහා රැදවියන් අධිකරණ වෙත රැගෙන යාම මෙන්ම රැදවියන් බැලීමට ඥාතීන්ට වෙනදා මෙන් අවස්ථාව ලබාදීම වැනි දෛනික කටයුතු එම බන්ධනාගාරයේ සිදුවන බවයි නෙත් නිවුස් සිදුකළ නිරික්‍ෂණයකදී දැකගත හැකි වූයේ.

එම බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු අතර ඇති වූ පොර බැදීමකින් අනතුරුව ඔවුන් තිදෙනාම තුවාල ලැබුවා.

ඉන් අනතුරුව එම තිදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදි එක් රැදවියෙකු මියගිය බවත් ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කොළඹ 14, නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

තුවාල ලැබූ අනෙක් රැදවියා තවදුරටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර එම සිද්ධියට අදාළව බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, බොරැල්ල පොලිස් ස්ථානය විසින්.

රැදවියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා තවත් බන්ධනාගාර නියාමකවරයෙකු අද පෙරවරුවේ බොරැල්ල පොලිස් ස්ථානය වෙත කැදවා තිබෙනවා.

අදාළ රැදවියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන කටයුතු සිදුවනවා.

ඒ, බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්.

එම සිද්ධියට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද ඊයේ දිනයේම විමර්ශනයක් ආරම්භ කළා.

ඒ, සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද දිනයේ අතුරු වාර්තාවක් ලබාදෙන ලෙසට බන්ධනාගාර මූලස්ථානය විසින් එම නිලධාරියාට නියෝග කර තිබෙනවා.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.