බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස් වී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් - මූල්‍ය හා ආර්ථික කටයුතු - රසල් අපොන්සු මහතා කටයුතු කරනවා.
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ලවිය හැකි අයහපත් බලපෑම් සහ ඒ හමුවේ වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වන ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය, මැද පෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත රඳා පවතිනවා.
එබැවින් ශ්‍රී ලංකාව බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම සහ ඒ පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කලේ.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති චන්න ගුණවර්ධන සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරන සෙසු සාමාජිකයින් වනවා.





