කොළඹ නගරය මෙන්ම දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව හෙට (01) දිනයේ විශේෂ ආරක්ෂාවක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ, හෙටට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන පෙළපාලි හා මැයි රැළි හේතුවෙන්.
ඒ අනුව කොළඹ නගරයට අමතරව අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන නගර කේන්ද්‍ර කර ගනිමින් එම ආරක්ෂක හා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
දිවයිනේ සියළු දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි මෙවර මැයි දින රැළි සහ පා ගමන් සංවිධාන කර ඇති බව ජාතික ජනබලවේගය පැවසුවා.
එම පක්ෂයේ ප්‍රධාන මැයි දින රැළිය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ඇති පොදු රථ ගාලේදීයි.
සමගි ජනබලවේගයේ මැයි දිනය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි එම පක්ෂය පැවසුවේ.
බොරැල්ල, එන් එම් පෙරේරා මාවතේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදි ජනතා පෙරමුණ මෙවර මැයි දින රැළිය පවත්වනු ලබනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මැයි දින රැළිය කොම්පඤ්ඤ වීදිය හයිඩ්පාර්ක් පිටියේදීයි.
සර්වජන බලය පක්ෂද මෙවර මැයි දින රැළියක් සංවිධාන කර ඇති අතර එය බොරැල්ල පාර්ක් ඇවනිව්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බාලාතම්පෝ පටුමග පිහිටි ලංකා වෙළද කාර්මික සහ පොදු කම්කරු සංගමයේ මැයි දින රැළිය පැවැත්වීමට නියමිතයි.
ලංකා බැංකු සේවක සංගමය සහ නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය මෙවරද මැයි දින රැළියක් සංවිධාන කර තිබෙනවා.
එම රැළිය වේල්ලවීදිය ඊ ඒ ගුණසිංහ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.
පොදුජන පෙරමුණ සහ ටී බී ඉංගරත්න සහෘද සංසදය සිය මැයි දින රැළිය පවත්වනු ලබන්නේ රොටුන්ඩා වට රවුමෙහි පිහිටි ටී බී ඉංගරත්න පිළිරුව අසලදීයි.




