මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ මෙරටට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ සංචාරකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවා තානාපති කාර්යාල හරහා සක්‍රීය කර තිබෙන බවත්, ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරුණා.

දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව අදාළ රටවල වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බරපතළ හානි වාර්තා වී නොමැති බවත්, තානාපති කාර්යාලවලින් සහාය ඉල්ලා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ තානාපති කාර්යාල වෙත මේ වන විටත් යොමු කර තිබෙන බවත් ප්‍රකාශ වී තිබෙනවා.

මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 1912 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 1989 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. මෙම ක්ෂණික දුරකථන අංක වෙත ලැබෙන සියලු තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන බවත්, විශේෂ ගුවන් යානා පහසුකම් පිළිබඳ කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.

එමෙන්ම විදේශ රැකියාවල නිරත, මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස අදාළ තානාපති කාර්යාල හරහා ඉල්ලීමක් සිදු කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. සංචාරයට සහ ව්‍යාපාර කටයුතු සඳහා මැදපෙරදිග රටවලට ගොස් ආපසු ඒමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳවද සොයා බලා ඔවුන් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසටයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

මේ වන විට ගුවන් සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ගැටලුකාරී තත්ත්වයකින් තොරව අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.