දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමල් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කාලසීමාවේ සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා මොරටුව මහ නගර සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහුට මොරටුව මහනගර සභා පරිශ්‍රයට ඇතුළු වීම වළක්වාලමින් මෙම අධිකරණය විසින් ඇප කොන්දේසියක් පනවා ඇති නිසා එම කටයුත්සතට සහභාගි වීමට නොහැකි වී ඇති බව පැවසුවා.
එම නිසා අදාල ඇප කොන්දේසිය සංශෝධනය කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මොරටුව මහ නගර සභා පරිශ්‍රයට සැකකරුට ඇතුළු වීමට හැකිවන පරිදි ඇප කොන්දේසිය සංශෝධනය කිරීමට නියෝග කළා.
ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ජුනි මස 12 වනදා කැඳවන ලෙසත් නියම කළා.
මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාල ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.




