නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවයි.
මේ අවස්ථාවේදී සැකකාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුළින් බව පෙන්වා දුන්නා.
සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවා දායකයාට ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන හෙයින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මේ වන විට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බැවින් ඊට අදාල නියෝග නිකුත් කිරීමට තමන්ට නොහැකි බවයි.
ඉන් අනතුරුව නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට නියම කළා.
ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා.
2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බි්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.




